http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140629_aluthgama_hasan_ali.shtml
අලුත්ගම සහ බේරුවල හට ගත් ගැටුම්වලින් මරුමුවට පත්වූවන් ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බරපතළ සැක පවතින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
වෙඩි වැදී මියගිය පුද්ගලයන් පිහි ඇනුම් හේතුවෙන් මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පවසන මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් එම්ටී හසන් අලි, පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවද බීබීසී යට කියා සිටියේය.
බලපිටියේ රෝහලට ඇතුළත් කළ සියලු දෙනා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි බව තමා රෝහලේ කළ සංචාරයකදී දැන ගන්නට ලැබුන බවද ඔහු සඳහන් කළේය.
ගැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.
සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට අයත් සාමාජිකයන් එම ජනාධිපති කොමිසමට ඇතුළත් කළ යුතු බව ද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා පවසයි.