ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්
ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි.
රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ.
එතරම් කාලයකට පසු එම ලේඛනය සොයා ගැනීමට හැකි වීම ඉතා විශ්මිත අත්දැකීමක් වන අතර මෙම පුවත ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයින් සතුටට පත් කරනු ඇති බවයි බ්‍රිතාන්‍ය පුස්තකාල ලේඛන පිලිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ.
රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ
පුස්තකාලයේ මැද පෙරදිග අනෙකුත් පැරණි ලේඛන අතර තිබී සොයා ගැනුණු මෙම කුරානයේ පිටපත දැනට වාර්තා වී ඇති පැරණි කුරාන පිටපත් වලින් පැරණිම පිටපත ලෙස සැලකිය හැකි බවයි වාර්තා වෙන්නේ.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රේඩියෝ කාබන් විකිරණ අංශයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ලේඛනයේ පිටු බැටළුවන් හෝ එළුවන්ගේ සම යොදා ගෙන නිමවා තිබෙන බවයි.
මෙම ලේඛනය දැනට ආරක්ෂිතව පවතින පැරණිම කුරාන් පිටපත් වලින් එකක් බව සනාථ වී තිබේ.
සිදු කරනු ලැබූ රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ වලින් ලේඛනයේ කාලය නිර්ණය කිරීමට 95% ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පවසන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායම පවසන්නේ ක්‍රි.ව 568 ත් ක්‍රි.ව 645 ත් අතර මෙය ලියැවී ඇති බවයි.
ඉස්ලාම් ප්‍රවාදය
ඉස්ලාම් ප්‍රවාදයන්ට අනුව මොහොමඩ් නබිනායක තුමා විසින් හෙළිදරව් කරන ලද ඉස්ලාම් ආගමික ධර්ම ග්‍රන්ථය ඔහුගේ මරණය සිදුවූ ක්‍රි.ව 610 ත් ක්‍රි.ව 632 ත් අතර කාලය තුල ලියවී තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ ඉස්ලාම් ප්‍රවාදය සහ මෙම ලේඛනය කෙතරම් පැරණිද යන්න සසඳන විට මෙම කුරාන පිටපත ලියන ලද පුද්ගලයා මොහොමඩ් නබිනායක තුමා ජීවත්ව සිටි කාලයේ ඔහු දේශනා කළ ධර්මයේ අභාෂය ලබමින් මෙය ලේඛන ගත කළ බව විශ්වාස කළ හැකි බවයි.
නව ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ උපත ලද බවට විශ්වාස කෙරෙන ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් 1920 දී සොයා ගනු ලැබූ වසර 3000කට වඩා පැරණි මැද පෙරදිග ලේඛන එකතුවක් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මින්ගානා එකතුව නමින් නම් කර ගබඩා කර තිබූ අතර මෙම පැරණිම කුරාන පිටපත ඉන් එක් ලේඛනයකි.
ලෝකයේ පැරණිම චොක්ලට් නිෂ්පාදනයේ කොටස්කරුවෙකු වූ එඩ්වඩ් කැඩ්බරි විසින් සැපයූ මුල්‍ය ප්‍රතිපාදන සහ දෙනු ලැබූ උපදෙස් පරිදි මැදපෙරදිග සංචාරයන්ට එක්වූ ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් මැදපෙරදිග ඉතිරිව තිබූ පැරණිම ලේඛන එකතු කළ බවයි පැවසෙන්නේ.