Saturday, April 20, 2024
   
Text Size

යෝෂිත සීඑස්එන් සභාපති බව හෙළි වුනා - පොලිසිය

User Rating: / 1
PoorBest 
Image copyrightGettyImage captionසීඑස්එන් සමාගමට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් ලක්ෂ 2334 ක් යොදවා තිබූ අතර සමාගමේ කොටස් නිකුතුවෙන් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 70 ක් පමණක් යැයි විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ

සිය පුතකු අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වන නමුත් යෝෂිත රාජපක්ෂ සීඑස්එන් සමාගමේ සභාපතිවරයා බව පැහැදිලි ලෙස අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පුතුන් සීඑස්එන් සමාගමේ ප්‍රධානීන් නොවන බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග දිගින් දිගටම අවධාරණය කළත්, යෝෂිත රාජපක්ෂ සමාගමේ සභාපතිවරයා වශයෙන් තීන්දු තීරණ ගත් බවට සාක්ෂි ලැබී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කරුණු දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉරිදා නිකුත් කළ නිවේදනයකයි, ඒ බව සඳහන් වෙන්නේ.

ලක්ෂ 2340

සීඑස්එන් සමාගමට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් ලක්ෂ 2340 ක් යොදවා තිබූ අතර සමාගමේ කොටස් නිකුතුවෙන් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 70 ක් පමණක් යැයි විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

Image copyrightGettyImage captionසීඑස්එන් නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වයි

ඉතිරි ප්‍රාග්ධන මුදල් ලබාගත් ආකාරය සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ගනු ලැබූ මුදල් බව හෙළි වූ බවත් පොලිස් නිවේදනයේ සඳහන්.

එමෙන්ම සමාගමට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සමාගම හෙළි කරන තොරතුරු විශ්වසනීය නොවන තත්වයක් යටතේ සමාගමේ ප්‍රාග්ධනය මුදල් විශුද්ධිකරණයෙන් ලබාගත් මුදල් බව පොලිස් විමර්ශකයන්ගේ නිගමනය වී ඇත.

අදාළ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් එම චෝදනාවලට නිවැරදිකරුවන් යයි අනාවරණය වී නොමැති බැවින්, නීති විධිවිධාන ප්‍රකාර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි පොලිසිය පවසන්නේ.

මුදල් විශුද්ධිකරණයට අමතරව කූට ලේඛන සැකසීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙන්ම රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ චෝදනාත් විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Login Form