Friday, April 19, 2024
   
Text Size

තෙල්දෙණිය සන්සුන් කරන්න මහනුවරට පොලිස්‌ ඇදිරි නීතිය

User Rating: / 0
PoorBest 

p1 1තෙල්දෙණිය ප්‍රදේශයේ දී දෙපිරිසක්‌ අතර ඊයේ (05 වැනිදා) දහවල් ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක්‌ පාලනය කරගැනීම සඳහා ඊයේ පස්‌වරු 3.30 සිට අද (06 වැනිදා) පෙරවරු 6.00 දක්‌වා මහනුවර පරිපාලන දිස්‌ත්‍රික්‌කයට බල පැවැත්වෙන පරිදි පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය සඳහන් කරයි.

මෙම පොලිස්‌ ඇඳිරි නීතිය පැනවීම නිසා අද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන ඇමැති අකිල විරා- කාරියවසම් මහතා විසින් පියවර ගනු ලැබීය.

ඉකුත් පෙබරවාරි 22 වැනිදා ලොරි රථ රියෑදුරකු සහ ත්‍රිරෝද රථ රියෑදුරන් කිහිප දෙනකු අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුර දිග යාමෙන් එම දෙපිරිස අතර ගැටුමක්‌ ඇතිව තිබේ. එම ගැටුමේදී තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ පදිංචි දෙදරු පියකු වන හතළිස්‌ එක්‌ හැවිරිදි එම්. ජී. කුමාරසිංහ මහතා බරපතළ තුවාල ලබා තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත. හෙතෙම ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 2 දා මියගිය බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් උරණ වූ පිරිසක්‌ උඩිස්‌පත්තුව ප්‍රදේශයේ වෙළෙඳසල් 2 ක්‌ පෙරේදා (4 දා) රාත්‍රියේ ගිනිතබා ඇති බව පොලිසිය පවසයි. කුමාරසිංහ මහතාගේ අවසන් කටයුතු සිදු කළ ඊයේ (5 දා) සිද්ධියට අදාළ දෙපිරිස අතර යළි ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර එය සමනය කිරීමට ඊයේ රාත්‍රි පොලිස්‌ විශේෂ කාර්ය බළකා සෙබළු යොදවා තැබීමට ද කටයුතු යොදා තිබිණි.

වෙළෙඳසල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයන් 24 දෙනකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිගන ප්‍රදේශයේ වෙළෙඳසල් 27 කට අධික සංඛ්‍යාවක්‌ ඊයේ දහවල් කඩා බිඳ දමා කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ලකළ ද පිරිස පෙරළා පොලිසියට පහරදීමට උත්සාහ කර තිබේ. තත්ත්වය බරපතළ වූ බැවින් පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පවසයි.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර, තෙල්දෙණිය ගාමිණි පුටුහපුව, උඩිස්‌පත්තුව එස්‌. බණ්‌ඩාර

http://divaina.com/daily/index.php/main-news/8344-2018-03-05-15-36-51

Login Form